පුවත්

පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡාවක්

දේශපාලන පක්ෂ සමගින් පැෆ්රල් සංවිධානය පවත්වනු ලබන සාකච්ඡා මාලාවේ දෙවැන්න අද (10) ජනතා විමුක්ති පෙරමුණ සමගින් පැවැත්වින. මෙම සාකච්ඡාවේදීද මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කල පැෆ්රල් සංවිධානයේ යෝජනාවලිය සකස්කිරීමේ ගමන්මග සම්බන්ධයෙන් සම්පාදනය කෙරුණු ග්‍රන්ථයද ජනතා විමුක්ති පෙරමුණ වෙත පිළිගැන්වීමද එහිදී සිදුවිය.

එහිදී අදහසක් දැක්වූ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ නව මැතිවරණ ක්‍රමයක් සකස්කිරීමේදී සියලුම පක්ෂවලට සාධාරණ නියෝජනයක් හිමිවිය යුතු බවයි. එමෙන්ම මැතිවරණ ප්‍රචාරණ වියදම් සම්බන්ධයෙන්ද පුලුල් සමාජ කතිකාවතක් ඇතිකල යුතුව ඇති බවත් වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන්ද සවිමත් යාන්ත්‍රණයක් සකස්විය යුතුව ඇති බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.

එමෙන්ම කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය විසින් ආරම්භකොට ඇති "වෙනසකට මගක්" වැඩසටහන සම්බන්ධයෙන්ද හෙට්ටිආරච්චි මහතා කරුණු දැක්වූ අතර තරුණ නියෝජනය වර්ධනය කිරීමෙහි ඇති වැදගත්කමද පෙන්වා දුන්නේය.

පසුගියදා මොණරාගල මහාධිකරණය විසින් සභිකයෙකුගේ සභික ධුරය අහෝසි කරමින් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශවයේ සාකච්ඡාවට බඳුන්විය.

මෙහිදී සාකච්ඡාවට එක්වූ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වාදුන්නේ නව මැතිවරණ ක්‍රමයක් සකස්වීමේදී මහජන කැමැත්ත සාධාරණව නියෝජනය විය යුතු බවයි. ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මැතිවරණ ක්‍රමයක් සකස්වීමේදී දැඩිව අවධානය යොමුකල යුතු මූලධර්ම සම්බන්ධයෙන් තමන් යෝජනා ඉදිරිපත් කල බවයි.

එමෙන්ම පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් සිය පක්ෂයට විවේඡන තිබුණත් ව්‍යවස්ථානුකූලව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇති බවත් කොවිඩ් වසංගතය හා ආර්ථික පීඩාවන් හේතුවෙන් අසරණව සිටින ජනතාව සම්බන්ධයෙන් මැතිවරණ පැවැත්වීමේදී දැඩිව අවධානයට යොමුකල යුතු බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය. තවද ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය කල්දමාවි යන සැකය සියලු දෙනාට මේ වන විට මතුව තිබෙන බවත් ඔහු පෙන්වාදුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පැෆ්රල් සංවිධානය වෙත යෝජනා කර සිටියේ පුරවැසියා ඡන්දය භාවිත කිරීමේ සැලකිලිමත් විය යුතු ප්‍රමුඛතා සම්බන්ධයෙන් ජනතාව අතර කතිකාවතක් ඇතිකල යුතුව ඇති බවයි.

ඒ සඳහා පැෆ්රල් සංවිධානයට අවස්ථාව ඇති බවත් එවැනි කතිකාවතක් හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මහඟු රුකුලක් අත්විය හැකි බවත් පෙන්වාදුන් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටියේ පුරවැසියන්ගෙන් බොහෝ දෙනෙකු වර්තමාන දූෂිත දේශපාලන සංස්කෘතියේ ගොදුරු බවයට පත්වී ඇති බවයි. 

තවද දේශපාලනය ජාවාරමක සිට මහජන සේවාවක් දක්වා පරිවර්තනය විය යුතුව ඇති බවත් දේශපාලකයින්ගේ විශ්‍රාම වැටුප්, වාහන බලපත්‍ර ඇතුලු සියලු වරප්‍රසාද අහිමි කිරීම ක්‍රියාත්මක කිරීම තුළින් ඊට ආරම්භයක් ගත හැකි බවත් ටිල්වින් සිල්වා මහතා පෙන්වාදුන්නේය.

මෙම සාකච්ඡාවට පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, උප සභාපති කේ.එන් ඩීන් හා ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් යන මහත්වරුන්ද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා නීතීඥ සුනිල් වටගල යන මහත්වරුන් එක්වූහ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com