පුවත්

චන්ද්‍රිකාට පරක්කු වෙලා නැගිටින්න ඕන නිසා ශ්‍රී ලංකාවේ වේලාව වෙනස් කළා

එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රැස්වීම්වලට ආවේ පරක්කු වෙලා. උදේ 9.00ට තියන රැස්වීමට ආවේ දවල් 12ත් පහුවෙලා. වෙලාවට වැඩක් කළේ නෑ.

චන්ද්‍රිකාට පරක්කු වෙලා නැගිටින්න ඕන නිසා ශ්‍රී ලංකාවේ වේලාව වෙනස් කළා

* උදේ 9.00 රැස්වීමට ආවේ දවල් 12ට

* චන්ද්‍රිකා වෙලාවට වැඩක් කළේම නෑ

* පියා හදපු ශ්‍රීලනිපයත් චන්ද්‍රිකා දෙකට කැඩුවා

වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර කියයි

\"\"එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රැස්වීම්වලට ආවේ පරක්කු වෙලා. උදේ 9.00ට තියන රැස්වීමට ආවේ දවල් 12ත් පහුවෙලා. වෙලාවට වැඩක් කළේ නෑ. උදේට පරක්කු වෙලා නැගිටින්න ඕන නිසා වෙලාවත් වෙනස් කරා යැයි වයඹ පළාත් මහ ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මහ ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (02) කොබෙයිගනේ ප්‍රදේශයේ පැවැති විමධ්‍යගත භාණ්ඩ බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ ඇමැතිවරයා, තමුන්නාන්සේලා ගියවර පළාත් සභා මැතිවරණයේ දී විශාල කැපකිරීමක් කරලා අපිට සහයෝගය දුන්නා. වයඹ පළාතේ මහ ඇමැතිවරයා ලෙස මම පත්වෙලා අවුරුද්දක් යනකොට ජනතාව වෙනුවෙන් හැම ආකාරයකින්ම වැඩ කරලා තියනවා. මේ රටේ පළාත් සභා ඡන්දයකදී වැඩිම මනාප ගත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය. මනාප 298000ක් ගත්තා. එතුමියගේ තාත්තා මේ රටේ අගමැතිවරයෙක්.

අම්මත් අගමැතිවරියක්. එයාලගේ දුව තමයි චන්ද්‍රිකා. නමුත් මගේ අම්මවත්, තාත්තවත් අගමැතිවත්, ජනාධිපතිවත් නෙමෙයි. මම සාමාන්‍ය පවුලකින් ආපු කෙනෙක්. මට මනාප 336000ක් දීලා තමුන්නාන්සේලා ශක්තිය දුන්නේ වැඩක් කරයි කියන බලාපොරොත්තුව ඇතිව. මට ඔබතුමාලා දුන්නු ඒ ආදරය හුඟක් වටිනවා.

ඒ නිසා අපි එකතුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ජනාධිපතිතුමාටත් සහයෝගය දිය යුතුයි.

දැන් අද අලුත් නමක් ඇවිල්ලා තියනවා. නම මෛත්‍රී. ඡන්දෙ ඉවරවුණාට පස්සේ අයියෝ සිරිසේන කියලා තමයි කියන්න වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට තියෙන්නේ අගමැති කියන අකුරු හතරේ ප්‍රශ්නයක්.

මේ ආණ්ඩුව හදන්න මහන්සි වුණ කෙනෙක් එයා. ඒක ඇතුළේ තිබුණු ප්‍රශ්න කලින් දැක්කේ නැද්ද. දැන්ද එව්වා විවේචනය කරන්නේ. දැන්ද ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්න හදන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන්ට ටිකක් අපලයි. පක්ෂය දාලා ගියපු අය ආපහු ඇවිත් තියනවා. ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ගියාට ආපහු එන්න වෙනවා. චන්ද්‍රිකා මැතිණියත් කිව්වා විධායක ජනාධිපතික්‍රමය නැති කරනවා කියලා.

නමුත් 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා තව අවුරුදු දෙකක් තමන්ගේ කාලය වැඩි කරගත්තා. දැන් කියනවා මට මේක කරගන්න බැරිවුණා කියලා. බැරිවුණා නෙමෙයි බලලෝභීකමටයි එහෙම කරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 54 වෙනි සම්මේලනයේදී මම තරුණ සංවිධානයේ ලේකම්. සභාපති එස්.බී. දිසානායක මහත්තයා.

අපි පාන්දර වෙනකන් පුටු ඇද්දා. පාන්දර ඉඳන් ජනතාව ආවා. එතුමිය ආවේ පරක්කු වෙලා. චන්ද්‍රිකා මැතිණියට වෙලාවට වැඩ කරනවා තියා එයාට එයාවත් පාලනය කරගන්න බැරුව හිටියේ.

එයා රැස්වීම්වලට ආවේ පරක්කු වෙලා. උදේ 9.00 ට තියන රැස්වීමට ආවේ දවල් 12ත් පහුවෙලා. වෙලාවට වැඩක් කරේ නෑ. උදේට පරක්කු වෙලා නැගිටින්න ඕන නිසා වෙලාවත් වෙනස් කරා. ඒ නිසා අද එයාට කිසිම අයිතියක් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන්න. හේතුව තමන්ගේ තාත්තා හදපු පක්ෂය දෙකට කරපු නායිකාව තමයි චන්ද්‍රිකා.

ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා දින 100කින් විධායකය ‍අහෝසි කරනවා. එයා සිරිසඟබෝ නෙමෙයි. ඒ නිසා මේ හැමෝම එකිනෙකාට රැවටිලා ඉන්නේ. තමුන්නාන්සේලා මේ වගේ පාවෙන කතාවලට රැවටෙන්න එපා. සිරිසේන මහත්තයා දින 100යේ වැඩපිළිවෙළින් කරන්න හදන්නේ මානව හිමිකම් සංවිධාන ලංකාවට ගෙන්වන්න. අද බටහිර රටවල්වලින් අම්බලන්ගොඩ රූකඩ නටවනවා වගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව නටවනවා. ජනාධිපතිතුමා කිසිම මානව හිමිකම් සංවිධානයකට ලංකාවට ඇවිත් අපට විරුද්ධව වැඩකරන්න දුන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා කලින් කළේ බළලුන් ලවා කොස් ඇට බෑවීම.

අද බැළලියන් ලවා කොස් ඇට බාවනවා. එතුමා කළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෝ නැති කරන එක. අද මේ සියල්ල අච්චාරුවක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ තමුන්නාන්සේලා කිසිම සැකයකින් තොරව ජනාධිපතිතුමාගේ ගමනට ශක්තිය දෙන්න.

 

see more - www.dinamina.lk/2014/12/04/_art.asp

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com