පුවත්

මැතිවරණයෙන් ලැබෙන පණිවිඩය කුමක්‌ වෙයිද?

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ හම්බන්තොට, මුල්කිරිගල, බෙලිඅත්ත, මිනුවන්ගොඩ, අත්තනගල්ල, දොම්පේ, කැලණිය, මීගමුව, කළුතර, අගලවත්ත සහ අම්බලන්ගොඩ

මැතිවරණයෙන් ලැබෙන පණිවිඩය කුමක්‌ වෙයිද?

\"\"මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ හම්බන්තොට, මුල්කිරිගල, බෙලිඅත්ත, මිනුවන්ගොඩ, අත්තනගල්ල, දොම්පේ, කැලණිය, මීගමුව, කළුතර, අගලවත්ත සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලිනි. මෙයින් එක්‌ සිද්ධියකදී දොම්පේ එජාප ආධාරකරුවකු පහරදීමකින් මියගිය අතර එය මෙවර පළාත් සභා මැතිවරණයෙන් වාර්තා වූ එකම මිනිස්‌ ඝාතනයයි. බෙලිඅත්තේදී එජනිස ආධාරකරුවන් දෙපිරිසක්‌ අතර සිදු වූ ගැටුමකින් 5 දෙනකු තුවාල ලැබූ අතර එජනිස ඡන්ද අපේක්‍ෂකයකු පොලිස්‌ අත්අඩංගුවට පත්විය. මේ අතර මැතිවරණ ගැටුම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම ගැන දොම්පේ, අත්තනගල්ල සහ මීගමුව පොලිසිවලට විරුද්ධව පොලිස්‌පතිවරයාට පැමිණිලි ලැබී තිබේ.

ලබන සෙනසුරාදා පැවැත්වෙන බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ සියලු ප්‍රචාරක කටයුතු බදාදා (26 දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පක්‍ෂ ලේකම්වරුන්ට සහ ස්‌වාධීන කණ්‌ඩායම් නායකයන්ට දැනුම් දී තිබේ.

මේ නිසා ඉතිරිව තිබෙන අද - හෙට (25, 26) යන දෙදින තුළ සිය ඡන්ද ප්‍රචාරක කටයුතු තව තවත් වේගවත් කිරීමට මැතිවරණයට තරග කරන සියලුම පක්‍ෂ හා අපේක්‍ෂකයන් පියවර ගෙන ඇත. ඔවුන් අවසන් මොහොතේද ගෙයින් ගෙට යමින් ප්‍රචාරක පත්‍රිකා බෙදාහැරීම හා කුඩා රැස්‌වීම් පැවැත්වීම වේගවත් කොට ඇති අතර ප්‍රධාන දේශපාලන පක්‍ෂවල අවසන් ප්‍රචාරක රැලි ද 26 දා පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට පියවර ගෙන ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අවසන් ජන රැලි 2 ක්‌ 26 දා අම්බලන්ගොඩදී සහ තිස්‌සමහාරාමයේ දෙබරවැවදී පැවැත්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ ගණනාවක නායකයන් හා ඇමැතිවරු රැසක්‌ ද මෙම රැලිවලට සහභාගි වනු ඇතැයි එම සන්ධානය කියයි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ අවසන් ප්‍රචාරක රැලිය 26 දා සවස මැදකොළඹදී පක්‍ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ හා නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය, මහ ලේකම් තිස්‌ස අත්තනායක ඇතුළු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජනතා විමුක්‌ති පෙරමුණේ අවසන් මහා රැලිය 26 දා සවස නුගේගොඩ නගරයේදී පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක හා කොළඹ දිස්‌ත්‍රික්‌ ජවිපෙ කණ්‌ඩායම් නායක කේ. ඩී. ලාල් කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය පසුගිය වසරේ පැවැති වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය තරම් උණුසුම් වී නැත. මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ, කණ්‌ඩායම් සහ අපේක්‍ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් අතර ඡන්ද උණුසුම පැවැතුණ ද සාමාන්‍ය මහජනයා තුළ ඇත්තේ මැතිවරණ පිළිබඳ ඇල්මැරුණු උනන්දුවකි. දේශපාලන විචාරකයන් කියන්නේ අවුරුදු පතා කොටස්‌ කොටස්‌ වශයෙන් ආණ්‌ඩුව මැතිවරණ පැවැත්වීම නිසා මහජනතාවගේ මැතිවරණ උනන්දුව හීන වී ඇති බවයි.

මෙම පළාත් දෙකේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මාස දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති අතර කලින් මැතිවරණ සමඟ සසඳන විට ප්‍රචණ්‌ඩ ක්‍රියාවල විශාල අඩුවක්‌ දක්‌නට ඇතැයි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසයි.

කැෙµa සංවිධානය වාර්තා කරන පරිදි නාමයෝජනා බාරගත් දිනයේ සිට ඉකුත් 21 දා දක්‌වා කාලය තුළ බස්‌නාහිර සහ දකුණු පළාත්වලින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 916 ක්‌ පිළිබඳ පැමිණිලි ලැබී ඇත. මෙයින් සිද්ධීන් 551 ක්‌ බස්‌නාහිර පළාතේ ද සිද්ධීන් 344 ක්‌ දකුණු පළාතෙන් ද වාර්තා වී තිබේ. මේ අතර මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා 44 ක්‌ රාජ්‍ය දේපළ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගැනීමේ අවස්‌ථා 345 ක්‌ ද මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ අවස්‌ථා 483 ක්‌ ද තිබෙන බව ද කැෙµa සංවිධානය කියයි.

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ හම්බන්තොට, මුල්කිරිගල, බෙලිඅත්ත, මිනුවන්ගොඩ, අත්තනගල්ල, දොම්පේ, කැලණිය, මීගමුව, කළුතර, අගලවත්ත සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලිනි. මෙයින් එක්‌ සිද්ධියකදී දොම්පේ එජාප ආධාරකරුවකු පහරදීමකින් මියගිය අතර එය මෙවර පළාත් සභා මැතිවරණයෙන් වාර්තා වූ එකම මිනිස්‌ ඝාතනයයි. බෙලිඅත්තේදී එජනිස ආධාරකරුවන් දෙපිරිසක්‌ අතර සිදු වූ ගැටුමකින් 5 දෙනකු තුවාල ලැබූ අතර එජනිස ඡන්ද අපේක්‍ෂකයකු පොලිස්‌ අත්අඩංගුවට පත්විය.

මේ අතර මැතිවරණ ගැටුම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම ගැන දොම්පේ, අත්තනගල්ල සහ මීගමුව පොලිසිවලට විරුද්ධව පොලිස්‌පතිවරයාට පැමිණිලි ලැබී තිබේ.

මෙම පළාත් සභා මැතිවරණයට තරග කරන ඇතැම් අපේක්‍ෂකයන් සිය ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වැය කරන්නේ කෝටි ගණනෙනි. දිස්‌ත්‍රික්‌කය පුරා පෝස්‌ටර්, කටවුට්‌, කාර්යාල සඳහාත් රූපවාහිනි, ගුවන් විදුලි සහ පුවත්පත් දැන්වීම් සඳහාත් ඔවුහු රුපියල් මිලියන ගණන් වැය කරති. නීති විරෝධී ජාවාරම්වල නොයෙදී තම දහඩිය මහන්සියෙන් යමක්‌ උපයා ගන්නා අපේක්‍ෂකයන්ට මේ අයුරින් මිලියන ගණන් වැය කරමින් ප්‍රචාරක කටයුතු කළ නොහැක. ඔවුන් පෝස්‌ටරයක්‌ ගැසුවාද එය පොලිසිය විසින් ඉරා දමයි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී නම් අපේක්‍ෂකයන්ට තම ඡන්ද ප්‍රචාරක පත්‍රිකා ඡන්දදායකයන් වෙත නොමිලේ තැපෑලෙන් යෑවීමේ පහසුකම් ලබාදුන්නද පළාත් සභා මැතිවරණ අපේක්‍ෂකයන්ට එවැනි පහසුකම් ද නැත. මේ නිසා සාමාන්‍ය අපේක්‍ෂකයකුට තම මනාප අංකය දන්වා ප්‍රචාරක පත්‍රිකාවක්‌ ඡන්දදායකයා අතට පත්කිරීම සඳහා තැපැල් ගාස්‌තු වශයෙන් විශාල මුදලක්‌ වැය කිරීමට සිදුවී තිබේ. ගෙයින් ගෙට ගොස්‌ ප්‍රචාරක පත්‍රිකා බෙදුවද දිස්‌ත්‍රික්‌කය පුරාම එය සිදුකිරීමට ශක්‌තියක්‌ ඔවුන්ට නැත.

ඡන්ද අපේක්‍ෂකයන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කිරීම සඳහා ගෙන්ගෙට යැමේදී එසේ යන පිරිස 15 දෙනකුට සීමා විය යුතු යෑයි ඡන්ද නීතිවල සඳහන් වේ. එහෙත් පක්‍ෂ ලේකම්වරුන් විසින් කරුණු පෙන්වා දීමෙන් පසු එසේ යා හැකි පිරිස 40 දක්‌වා වැඩි කර ගැනීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා අවසර දී තිබේ.

එමෙන්ම සෑම මැතිවරණයකදීම ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මනාප ගණන් කිරීමේදී ජිල්මාට්‌ මගින් මනාප ප්‍රතිඵල වෙනස්‌ කරන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය. එහෙත් බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී, මන්ත්‍රීන් තේරී පත්වන පක්‍ෂවල අපේක්‍ෂකයන්ට මනාප ගණන් කරන ස්‌ථානයේ රැඳී සිටීමට අවසර දීමට මැතිවරණ කොමසාරිස්‌වරයා තීරණය කොට ඇත. ඒ මනාප ජිල්මාට්‌ චෝදනා එල්ල වීම වැළැක්‌වීමේ පියවරක්‌ වශයෙනි.

මැතිවරණ නීති කොතෙක්‌ තිබුණද ඒවායින් රිංගා යැමට බොහෝ අපේක්‍ෂකයෝ විවිධ උපක්‍රම පාවිච්චි කරති. සංගීත සංදර්ශන, පාපැදි තරග, ක්‍රිකට්‌ තරග පවත්වා ඒවාට පැමිණෙන ජනතාව අතර සිය ප්‍රචාරක කටයුතු කරගෙන යැම අද සුලභ උපක්‍රමයක්‌ වී තිබේ.

බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද ව්‍යාපාරය දෙස බලන විට පෙනී යන්නේ එය එ.ජ.නි.ස. හා එ.ජා.ප. අතර සටනක්‌ නොව එජනිසයේම අපේක්‍ෂකයන් අතර පවතින සටනක්‌ බවයි. සන්ධානයේ ඇතැම් අපේක්‍ෂකයන්ගේ සටන් පාඨය වී ඇත්තේ මහ ඇමැති ධුරය තමන්ට හෝ තම දිස්‌ත්‍රික්‌කයට හිමිවිය යුතුය යන්නයි. බස්‌නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙවර ද මහ ඇමැති ධුරය අපේක්‍ෂාවෙන් තරග වැද සිටියි. එහෙත් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සන්ධාන අපේක්‍ෂක උපාලි කොඩිකාර මහතා පවසන්නේ තමා මනාප ලක්‍ෂ 5 කට අධික සංඛ්‍යාවක්‌ ලබාගන්නා බවත් එබැවින් මහ ඇමැති ධුරය තමාට හිමිවිය යුතු බවත්ය. ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ ද කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‍ෂක කණ්‌ඩායම් නායක උදය ගම්මන්පිල මහතා ද මහ ඇමැති ධුරය අපේක්‍ෂාවෙන් සිටින බව පැහැදිලිය.

දකුණු පළාත් සභාවේ මහ ඇමැති ධුරයට හිටපු මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාම පත්කෙරෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එහෙත් මාතර දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක හිටපු අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර, ගාලු දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක හා හිටපු ඇමැති යූ. ජී. ඩී. ආරියතිලක යන මහත්වරු හා ගාලු දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය ද තමන්ට දකුණේ මහ ඇමැති ධුරය අවශ්‍ය බව කියා සිටිති. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා පවසා තිබුණේ වැඩිම මනාප ලබාගත් පමණින් මහ ඇමැතිකම දීමට එය සුදුසුකමක්‌ නොවන බවයි. එහිදී පළපුරුද්ද, කැපවීම හා ජ්‍යෙෂ්ඨත්වය ද සලකා බලන බව ජනාධිපතිවරයා පවසා තිබිණි.

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයට ආණ්‌ඩුවට ප්‍රබල අභියෝගයක්‌ එල්ල කිරීමට මහඟු අවස්‌ථාවක්‌ ලැබී ඇතත් එම පක්‍ෂය තුළ පවතින භේද, කල්ලිවාදය හා අභ්‍යන්තර ගැටුම් නිසා එම අවස්‌ථාව ගිලිහී ඇති බවක්‌ පෙනේ. රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. නායකයා වශයෙන් කටයුතු කරනවාට විරුද්ධ කණ්‌ඩායම ඔහු නායකත්වයෙන් පලවා හැරීමට පසුගිය කාලය තුළ කටයුතු කළේය. එය සමථයකට පත්කිරීම සඳහා මධ්‍යස්‌ථ පිරිසකගේ මෙහෙයවීම යටතේ එ.ජා.ප.යට නායකත්ව මණ්‌ඩලයක්‌ පත්කෙරිණි. එහි සභාපති කරු ජයසූරිය මහතාය. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා නායකත්ව මණ්‌ඩලයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම ප්‍රතික්‍ෂේප කළා පමණක්‌ නොව රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙන මහජන රැස්‌වීම් ද වර්ජනය කොට ඇත. පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, තිස්‌ස අත්තනායක ආදී නායකයන් රැසක්‌ හම්බන්තොටදී දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ට ආධාර සඳහා මහා රැලියක්‌ පැවැත්වීය. සිය මැතිවරණ කටයුතු හම්බන්තොටට පමණක්‌ සීමා කොට ඇති සජිත් ප්‍රේමදාස මහතා මෙම රැලියට ද පැමිණ සිටියේ නැත.

එසේම එජාප නායකත්ව මණ්‌ඩල සාමාජිකයකු වන රවි කරුණානායක මහතා ද ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු උතුරු කොළඹට පමණක්‌ සීමාකරගෙන ඇති අතර කොළඹ දිස්‌ත්‍රික්‌කයේ හෝ දකුණේ පක්‍ෂයේ ප්‍රචාරක රැලිවලට යැමෙන් වැළකී සිටියි. සිය බිරිඳට කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කිරීම සඳහා එජාපය නාමයෝජනා ලබා නොදීම නිසා කොළඹ පුරපති ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතා ද එජාප ඡන්ද ප්‍රචාරක කටයුතුවලට සහභාගි නොවේ.

මේ අතර මෛත්‍රි ගුණරත්න, ශිරාල් ලක්‌තිලක ආදීන් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එජාප රැලිවලට සහභාගි වෙමින් එජාප නායකයා විවේචනය කිරීමත් එජාපයට අවාසිදායකය. මේ තත්ත්වයන් යටතේ එජාපයට සටන් කිරීමට සිදු වී ඇත්තේ මෙම පළාත් සභා දෙකේ බලය ලබාගැනීමට නොව තිබෙන මන්ත්‍රීධුර රැකගැනීම සඳහාය.

සරත් ෙµdන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයත්, ජනතා විමුක්‌ති පෙරමුණත් බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන්නේ ඒවායේ බලය අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සහ එජාපයේ ඡන්ද කඩාගනිමින් වැඩි මන්ත්‍රීධුර සංඛ්‍යාවක්‌ දිනා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ හා ජනතා විමුක්‌ති පෙරමුණේ අරමුණ වී ඇත.

සන්ධාන ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට zගස්‌ ලකුණ යටතේ තනිවම තරග කරයි. එම පක්‍ෂය විසින් මුස්‌ලිම් ජනතාවට හා ආගමික ස්‌ථානවලට සිදුවී ඇතැයි කියන හිරිහැර පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේට යවන ලද වාර්තාවක්‌ නිසා ආණ්‌ඩුව මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක රවුµa හකීම් මහතා සමඟ කෝපයෙන් පසුවෙයි. මේ නිසා ආණ්‌ඩුවේ සමහර ඇමැතිවරුන්, ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස්‌ පෙරමුණත් ප්‍රසිද්ධ වේදිකාවල හකීම් මහතාට පහර ගැසීමට පටන්ගෙන තිබේ. එය මුස්‌ලිම් කොංග්‍රසයට වෙස්‌ වළාගත් ආශිර්වාදයක්‌ වී ඇති බව පෙනේ. හකීම් මහතා ද ඡන්ද රැස්‌වීම්වලදී විවේචනවලට පිළිතුරු දීම නිසා මුස්‌ලිම් ජනතාව අතර වීරයෙක්‌ වීමට ඔහුට හැකි වී තිබේ. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ගිලිහී යන මුස්‌ලිම් ඡන්ද මේ නිසා මුස්‌ලිම් කොංග්‍රසයට ලැබීමට ඉඩ තිබේ. කලින් එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌වී සිටි මනෝ ගනේෂන් මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ කොළඹ දිස්‌ත්‍රික්‌කය සඳහා තනිවම තරග කරන්නේ දෙමළ ජනතාවගේ ඡන්ද තම පක්‍ෂයට ලබාගැනීමේ බලාපොරොත්තුවෙනි. දෙමළ ජාතික සන්ධානය ද කොළඹ දිස්‌ත්‍රික්‌ දෙමළ ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ මනෝ ගනේෂන් මහතාගේ පක්‍ෂයට ඡන්දය දෙන ලෙසයි.

මේ තත්ත්වයන් යටතේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බස්‌නාහිර සහ දකුණු පළාත් සභා ජයග්‍රහණය කිරීමට හැකිවන බවක්‌ පෙනෙන නමුත් පසුගිය වතාවේ තරම් විශාල වැඩි ආසන ගණනක්‌ ලැබේදැයි සැක සහිතය.

 

සමිබන්ධීකරණය මෙතැනින් - www.divaina.com/2014/03/25/feature01.html

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com